පොරොන්දුව
( කෙටි කතාව )
ඒ වර්ශ 1998 කාලයයි.. සෝමපාල ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇලවී නිවස ඉදිරිපිට වෙල් යාය දෙස ඔහේ බලා සිට දීර්ඝ සුසුමක් හෙලුවේය....
යසෝමා නිවස තුළට වී තාමත් ඉකිබිදින හඩ ඔහුට ඇසේ..
දවස් තුනක නිවාඩුවට පැමිණී තම පුතු නිපුන නැවත ගියේ අද උදෑසනමය. ඒ කුරිරූ යුද්දයේ බිහිසුණුම අවදියයි .. කොපමණ දේපළ,ඉඩකම්,කුඹූරු ආදිය තිබුණත් තම පුතුට හමුදාවට බැදීමටම අවශ්‍ය වීම අදටත් සෝමපාලට අදහාගත නොහැකිය..
ගමේ පාසලේත් පන්සලේත් හොදම සිසුවා වූයේ නිපුනයි. කුඹූරු කරන්නට ඉඩකඩම් බලා ගන්නට පුතුගෙන් බලාපොරොත්තු නොවුනත් කිසිවිටක ඔහු මේ සියල්ල අත හැර දමා හමුදාවට බැදීමට තීරණය කරයි යැයි සෝමපාලවත් යසෝමාවත් කවදා හෝ නොසිතන ලදී...
ඔවුන් කෙසේ හෝ පුතුගේ කැමැත්තට ඉඩ දුන්නත් ඔවුන්ගේ හදවත දෙදරා ගියේ පුතුගේ පළමු පත්වීම උතුරු කරයට ලැබීම නිසායි..එදා සිට මේ මොහොත වන තුරුත් පුතු නිවාඩුවට පළමු වරට ගෙදර ආ දවස් තුන ඇරෙන්නට අනෙකුත් සෑම මොහොතක්ම සෝමපාලගේත් යසෝමාගෙත් හදවතේ ගිනි ඇවිලුනේ තම පුතු නිසායි...
පුතු නිවාඩුවට ගෙදර ආවෙලේ සිතට දැනුනු සතුට සැනසීම මෙතෙකැයි කියා ගන්නට දෙමහල්ලන්ට නොහැකි විය.. යසෝමා එවලේද ඉකිබිදින්නට ගත්තාය... සෝමපාලට කියන්නට කිසිවක් නොවිණී..ඒ තමා ආදරයෙන් හදා වඩා ගත් එකම පුතුය.. දහසක් වදන් හද තුළ වූවත් හැමදා මෙන් ඔහු එය පිට නොකළේය....
“අනේ පුතේ ආයේ යන්න එපා..” යසෝමා දහස් වරක් මුමුණන්න ඇති..
නිපුන ඒ සෑම විටම මද සිනාවක් පෑවා පමණී...
පුතු නිවාඩුවට ආ පළමු දිනේ යසෝමා මගුල් ගෙයකට සේ කෑම මේසය සැකසුවාය.
නිපුන කෑම මේසයෙන් වාඩි වූයේ , “අම්මා..මං සාගතේක ඉදලා නෙවේ ආවේ” යැයි පවසා සිනාසෙමිනි..
කාලයකට පසුය පවුලේ තිදෙනාම එකට කෑම මේසයට වාඩි වූයේ..නිපුන නැති දින වල නිවසේ බතක් ඉදුනාදැයි දෙමහල්ලන්ට මතක නැත..
“පුතාට ලබන මාසේ නිවාඩු ගන්න බැරි වෙයිද පුතේ ? ” යසෝමා නිපුන දෙස බලමින් ඇසුවේ සෙමිනි.
“නිවාඩු ගන්න නම් අමාරුයි අම්මා..ඇයි ඒම ඇහුවේ?”
“නෑ පුතා මේ මගේ උපන් දිනේට පුතයි තාත්තයි එක්ක කිරිබත් කටක් කාලා පන්සලට ගිහින් මලක් පූජ කරන්න ආසයි පුතේ...” කියද්දිම යසෝමාගේ ඇහෙන් කදුලු බිදුවක් වැටිණ..
අම්මා තමන් ගෙදර ආ විට කොපමණ සතුටින් ඉන්නා බවක් පෙන්නුවද අම්මා හදවත ඇතුලෙන් කොපමණ දුක් වනවාදැයි සිතීමට නිපුනට වෙන සාක්ශි අවශය නොවිණී..
නොදැනුවත්වම නිපුනගේ ඇස කදුලින් තෙමිනි .. අම්මාත් තාත්තාත් මෙහේ දුක් විදින බව ඔහු නොදන්නවා නොවේ.. ඔහුට අවශ්‍ය වූයේ උපන් රටට සේවයක් කිරීමටයි .. උපන් බිම රැක ගන්නා විරුවෙක් වීමටයි… දිනෙන් දින තම සගයන් මිය යන අයුරු, අබාදිත වන අයුරු, ඔවුන් වේදනා විදින අයුරු ඔහු නොදැක්කා නොවේ..
දීර්ඝ සුසුමක් හෙලු නිපුන අම්මා දෙස ආදරයෙන් බැලුවේය..
“හරි අම්මා මං එන්නම්”
“ඇත්තමද මගේ පුතේ”
“ඔව් අම්මා මම එන්නම් .. අනිවාර්යෙන්ම”
යසෝමා ප්‍රීතියෙන් ඉපිළ ගියාය..එහෙත් දින දෙකකට පසු පුතු නැවත යන දිනයේ ඇයට වාවගන්නට බැරිව ගියාය.. ඈ සුසුම් හෙලමින් බලා සිටියාය..
“හරි අම්මා.. මම එනවනේ අම්මගේ උපන් දිනේට”නිපුනගේ ඒ වදන් ඇයට මද අස්වැසිල්ලක් විණී..එහෙත් නිපුන ගිය මොහොතේ පටන් ඈ නැවත හැඩුවාය..
සාගරය තෙක් හැඩුවාය...
දිනෙන් දින ගෙවී ගියේය.. යසෝමාගේ උපන් දිනය උදා විය ... ඇයට එයටත් වඩා සතුට වූයේ නැවත පුතු පැමිණෙන දිනය ඒ වූ නිසයි. ඈ උදයම අවදි වූවාය. කිරිබතක් උයා සැරට ලුණූ මිරිසක් හැදුවේ පුතු එසේ කන්නට ආසා කළ නිසායි..
“අපේ මහත්තයා, පුතා මග එනවත් ඇති.. හංදියේ කඩේට ගිහින් හොද ඇඹූල් කෙහෙල් ඇවරියක් අරන් එන්නකෝ” යසෝමා සෝමපාලව කඩේට යවා කුස්සියට පැමිණීයේ වතුර කේතලය ලිපේ තබන්නයි ..
“අම්මා”
ඇසු හඩින් ඈ තිගැස්සී හැරී බැලුවාය... පුතු ඇවිදින් ය. වෙනදා මෙන් නොව නිල ඇදුමෙන් පැමිණ ඇත.
“පුතේ ඇයි මේ අද යුනිෆෝම් එකෙන්ම ආවේ..අනික සුදුමැලිත් වෙලා මගේ දරුවා..”
නිපුන කිසිත් නොකියා බලා සිටියා පමණී..
“මහන්සී වගේ මගෙ පුතේ.. බඩගිනිද ඒනම් ඕම්ම වාඩි වෙන්න පුතේ මන් කිරිබත් බෙදන්නම්”
කී යසෝමා කිරිබත් බෙදා දුන්නාය.නිපුනද මේසෙන් වාඩි විය. වතුර වීදුරුවක් ගෙන නිපුන අසලින් තබද්දීම සෝමපාල කතා කරනා හඩ ඉස්තෝප්පුව දෙසින් ඇසිනි..
“මගෙ පුතා කන්න. මම තාත්තව බලලා එන්නම්”
කී යසෝමා නිවසේ ඉදිරි පසට ආවාය.. සෝමපල කඩේ ගොස් පැමිණ තිබුණේ.
“අපේ මහත්තයා..පුතා ආවනේ..”
“ නෑ.. මට මගදිවත් හම්බුනේ නෑනේ..බස් එකක් ආවෙත් නෑ..මේ දරුවා කෝම ආවද” සෝමපාල පැවසුවේ විස්මයෙනි
“කෝම හරි දරුවා ගෙදෙර ආවනේ..ඒ මදෑ’”
“කෝ දැන් පුතා”
“කුස්සියේ කනවා.. හරි මහන්සි පාටයි”
“යන් බලන්න”
දෙමහල්ලන් කුස්සියට යන විටත් නිපුන කුස්සියේ සිටියේ නැත..වතුර කේතලය හෝ ගා නටමින් තිබිණ. බෙදු කිරිබත් පීගානද එලෙසමය..
“මේ දරුවා කොහෙ ගියාද” යසෝමා පැවසුවේ පුදුමයෙනි..
එවිටම නිවස ඉදිරි පිට වාහනයක් නළා ශබ්ද කරනවා ඇසිණී.දෙමහල්ලන් ඒ දෙසට ගියේ කවුරුන්දැයි බැලීමටයි .
හමුදා ලොරියක පැමිණ සිටියේ හමුදා නිලදාරින් දෙදෙනෙක්..
“ඇයි මහත්තයා” සෝමපාල ඉස්සර විණී
“ මේ නිපුන තෙන්නකෝන්ගේ ගෙදරද?” ඉන් එක් අයෙන් විමසුවේ හිමිටය.
“ඔව් මහත්තයා .. ඇයි මහත්තයා” සෝමපාල විමසුවේ විස්මයෙනි..
“අපිට සමාවෙන්න .. කියන්න හරිම කනගාටුයි ඊයේ රෑ සතුරු හමුදාවේ වෙඩි පහරකට ලක් වෙලා.. අපිට නිපුනව බේර ගන්න බැරි වුනා..”
යසෝමාට ඒ හඩ ඇසුනේ සිහිනයෙන් මෙනි..ඈ එක් වරම බිම වාඩි ගත්තාය..
සෝමපාලට තේරුණේ එක දෙයක් පමණී....
ඒ...
පුතු අම්මාට වූ පොරොන්දුව ඉශ්ට කරන්නට පැමිණි බවයි...
...නිමි....

